අපි couple එකක් නොවේ: නිදහස් අවකාශය සහ තහනම් ආදරය

Photo credit: indi.ca

ධනුක බණ්ඩාර

පසුගිය වසරේ වේදිකා ගතවූ නාට්‍ය අතරින් චමිල ප්‍රියංකගේ “මෙය තුවක්කුවක් නොවේ” නාට්‍යය සංකල්පීයමය වශයෙන් ඉහළ තැනක ඇත. වේදිකාව මැද මෙය තුවක්කුවක් නොවේ යැයි සඳහන් වූ විශාල තුවක්කුවකි. ප්‍රියංක මෙම තුවක්කුවක් නොවන තුවක්කුව, පසුගිය රෙජීමයේ අධ්‍කාරිවාදී ස්වභාවය, මර්දනය සහ මිලිටරිකරණය නිරූපණය කරනු පිණිස බලවත් රුපකයක් ලෙස භාවිත කරයි. මෙම නාට්‍යයේ රෙනේ මාගරිට් නමැති ප්‍රංශ අධි-තාත්විකවාදී චිත්‍ර ශිල්පියාගේ Treachery of Images යන චිත්‍රයේ අභාෂය දැකිය හැක.

මෙම නාට්‍යය මට තකහනියක් සිහියට නැගුණේ මීට මාස කීපයකට පෙර නිදහස් චතුරශ්‍රයට ගිය විටදීය. මා පරණ පෙම්වතියක් සමග කොළඹ රස්තියාදු වෙමින් සිටියදී නිදහස් චතුරශ්‍රයට පැමිනුණේ අහම්බයෙන්. සීගිරියේ ශෛලමය පොකුණු සිහි කරවන වතුර මල් වලින්ද, ලංකාවේ ප්‍රෞඩ අභිමානය ගම්‍ය වන ගෘහ නිර්මාණාත්මක ලක්ෂණ වලින්ද සැරසුණු නිදහස් චතුරශ්‍රය, Nike, Addidas යනාදී විව්ධාකර ආම්පන්නයෙන් සැරසී දුව පනිමින් සිටින මහත් ජන පිරිසකගෙන් පිරී තිබුණි. නිදහස් චතුරශ්‍රය සහ ඒ අවට පෙදෙසට පසුගිය රෙජීමයේ නගරාලන්කරණ වැඩපිලිවල  යටතේ වඩා ‘පොෂ්’ පෙනුමක් ලබා දෙනු ලැබීය.ඉන් අනතුරුව කොළඹ නගර වාසි ශ්‍රී ලංකිකයන්ට ශාරීරික යොග්‍යතාවය පිළිබඳව වෙනදාට  නොමැති උනන්දුවක් ඇති විය. මා සිතන හැටියට මෙය ඉතා යහපත් ප්‍රවණතාවයකි. KFC, Burgher King, Pizza Hut යනාදී තැන් වලින් හිතේ හැටියට කා බී, උදේ හවස කාර් එකෙන් වැඩට යන පොදු ශ්‍රී ලාංකික ජනතාවට, තම සිරුරේ වැඩිවූ තෙල් බස්සා ගැනීමට දැන් නිදහස් චතුරශ්‍රය කදිම තෝතැන්නකි.

මාත් මගේ පරණ පෙම්වතියත් නිදහස් චතුරශ්‍ර මඩුවට නැග්ගේ බිම හිඳගෙන අතීත අනුස්මරණය කරනු පිණිස සහ ඔහේ ගැවසීමටය. යන තැන බිම ඉඳ ගැනීම, පේරාදෙණිය සෙනට් මණ්ඩපයේ වාඩිවීමෙන් අප ලත් පුරුද්දකි.අපි බිම වාඩිවූ විගසම, නිල ඇඳුමෙන් සිටි රැකවලෙක් පැමිණ “මෙතන couples වලට ඉඳ ගන්න බැහැ” යැයි පවසා සිටියා. මම සාමාන්‍යයෙන් නිර්භය පුද්ගලයෙක් නොවන අතර බොහෝ විට ඇඟ බේරාගැනීම ප්‍රමුඛතාවයක් ලෙස සලකා කටයුතු කරමි.නමුත් රැකවලාගේ කෙසඟ සිරුර දුටු මාහට අසමාන්‍ය ධෛර්යයක් පහල විය. “අපි couple එකක් නෙවේ”, මම ඇත්තම කිවුව. තුෂ්නිම්භූත වූ රැකවලා අප දෙස බලා “මෙතන couples වලට වාඩිවෙන්න දෙන්නේ නැහැ, එලියට ගිහින් වාඩිවෙන්න” යැයි පැවසුවා. අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරගැනීමේ තේරුමක් නැති නිසා මම හුන් තැනින් නැගිට “මෙතන හිටගෙන ඉන්න පුලුවන්ද?” කියා ඇසුවා. “හිට ගෙන ඉන්ඩත් බැහැ” රැකවලා මෙසේ කිවුයේ කණගාටුවෙන් යැයි මට සිතුණි. ජීවිකාව පිණිස තම දේශපාලනික ස්වාමි වරුන්ගේ අණ පිළිගන්නා, රැකවලා සමඟ වාද කිරීමෙන් ඵලක් නැත.ඒ නිසා අපි දෙදෙනා, Independence මඩුවෙන් නික්මී, ඒ අසල ඇති, මා දන්නා හැටියට හමුදාව විසින් කළමනාකරණය කළ Walkers’ Café එකට ගොස් කා බී සතුටු වී ගෙවල් බලා ගියෙමු.

මෙය සිදුවුයේ, ජනවාරි මාසයේ ආණ්ඩු පෙරළියට ප්‍රථමවය.මම  ගිය සතියේද නිදහස් චතුරශ්‍රය බලා ගියෙමි. වාසනාවකට හෝ අවාසනාවකට මෙවරද මා සිටියේ, පෙම්වතියක් සමඟ නොව ඉතා කුළුපග මිතුරියක් සමඟය. යහපාලන ආණ්ඩුව යටතේ මහා විස්කම් සිදුවෙතියි බලාපොරොත්තුවූ අප දෙදෙනාම, Independence මඩුවට නැග්ගේ නිදහසේ ආගිය තොරතුරු කතා කිරීමටය. බිම වාඩිවූ සැනින්, ඈත සිටි රැකවලෙක්අපිව එළවා දැමීමට පැමිණුනා. පෙරදා රැකවලා මෙන් නොව, මොහු තර්ජනාත්මකය. එම නිසා අතීතයේ පෑ සිංහ ලීලා නොපා, මා මගේ මිතුරියත් සමඟ වහා එතනින් මාරු විය.මේ රචනාව මට කිරීමට සිතුනේ ඉන් අනතුරුවය.

Couples වලට නිදහස් චතුරශ්‍රය තහනම් ප්‍රදේශයක් වීම කණගාටුවට සහ හාස්‍යයට ද කරුණකි. විෂම ලිංගික යුවළකට නිදහස් චතුරශ්‍රය තහනම් නම් ‘දිනාගත් නිදහසෙන්’ ඇති ඵලය කුමක්ද? අනෙක් අතට මෙය සැබවින්ම විකාර සහගත තත්වයකි. මෙම තහනම යටතේ කිසිම ගැහැනියකට හෝ පිරිමියෙකුට නිදහස් චතුරශ්‍රයට පැමිණීමට නොහැකිය. සහෝදරයෙකුට තම සොහොයුරිය සමගවත් නිදහස් චතුරශ්‍ර මණ්ඩපයේ ගැවසිය නොහැක. විවාපත් යුවළකටද එය එසේමය. මෙහි ඇති උත්ප්‍රාසයනම්, නිදහස් චතුරශ්‍රයේ නිදහසේ සිටිය හැකි එකම පිරිස වන්නේ සමාජයේ අනෙකුත් තාඩන පීඩන මැද ජීවත් වන සමලිංගික ප්‍රජාවය! අපි 1948 අවුරුද්දේ නිදහස ලැබුවත් සුද්දන්ගෙන් දායාදවූ  ගතානුගතික වික්ටෝරියානු මනෝභාවයෙන් මිදී නොමැත.ආදරය, ලිංගිකත්වය සහ ස්ත්‍රී, පුරුෂ සම්බන්ධතා පිළිබඳව මෙතරම් පටු අදහස් අපට ඇත්තේ ඒ නිසාය. උදහරණයක් ලෙසට සමාජය සිතන්නේ ගැහැනුන්ට සහ පිරිමින්ට මිතුරන් විය නොහැක කියාය (Oscar Wilde නම් මේ සමඟ එකඟ වනු ඇත). මා මගේ මිතුරිය සමග නිදහස් මණ්ඩපයෙන් පන්නා දැමුවේ මේ නිසාය. තරමක් දුරකට ප්‍රචිනවාදී වුවත්, රෝබට් නොක්ස් ගේ “An Historical Relation of the Island Ceylon” (සිංහල පරිවර්තනය, “එදා හෙළ දිව”) මහනුවර යුගයේ ලිංගිකත්වය  පිලිබඳ ආකල්ප ඉතා ලිහිල් බව පෙන්වා දේ. අප සමාජයේ අද ඇති ලිංගික පරිශුද්ධවාදය, අපගේ යටත්විජිත දායාදයේම කොටසකි.

මා ඉහත සඳහන් කළ පරිදි නිදහස් චතුරශ්‍ර මණ්ඩපයේ ගැවසිය හැකි එකම couples සමලිංගික couples වන්නේය.නමුත් මින් ශ්‍රී ලාංකික සමාජයේ සමලිංගිකත්වය පිලිබඳ ඉතා ප්‍රගතිශීලි අදහස් ඇති බවක් සැල නොවේ.එදිනෙදා ව්‍යවහාරයේ couples යන්නෙන් අදහස් වන්නේ විෂමලිංගික පෙම්වතුන් පමණි. ලිංගිකත්වය පිලිබඳ ශ්‍රී ලාංකික කතිකාවේ සමලිංගිකත්වයට තැනක් නැත. එයට සමලිංගිකත්වය සංකල්පගත කර ගැනීමටවත් නොහැකිය. එම නිසා නිදහස් චතුරශ්‍රයට යන සමලිංගික couples වලට  පාඩුවේ සිටිය හැක. අධිපති කතිකාවට අනුව ඔවුන් couples නොවේ.

නිදහස් චතුරශ්‍රය ඉදිරිපිට දැවැන්ත කොඩි ගහකි. එහි මුදුනේ බෞද්ධ ධජයක් වේළුණු කොළඹ සුළගේ ලෙළදේ.නිදහස් චතුරශ්‍රයේ කොඩි ගසේ බෞද්ධ කොඩියක් නංවා තැබීම විශ්මයට කරුණකි. ඒ නිදහස් චතුරශ්‍රය පන්සලක් නොව, ජාතික නිදහස සංකේතවත් වන ස්මාරකයක් වන බැවිනි.ලත් නිදහස හුදෙක්ම  බෞද්ධයන්ගේ උරුමයක් ලෙස සැලකීම, දහනමවන සහ විසිවන සියවසේ මුල් භාගයේ, නිදහස් අරගලය වෙනුවෙන් කැපවී වැඩ කළ බෞද්ධ නොවන,  ද්‍රවිඩ, බර්ගර් සහ මුස්ලිම් ජාතිකයන්ට කරන ගුණමකු කමක්  පමණක් නොව, රටේ බෞද්ධ නොවන සියලු දෙනා ජාතික විඥානයෙන් නෙරපා හැරීමක් ද වේ. Couples වලට නිදහස් චතුරශ්‍ර මඩුව තහනම් වීම සහ බෞද්ධ කොඩිය අතර සහ සම්බන්ධයක් ඇත.අප සමාජයේ විපරිත වූ සුචරිත වාදයට ගුරු කරගෙන ඇත්තේ, ප්‍රෝතෙස්තන්ත්‍රකරණය වූ බුදු දහමය. ඒ කෙසේවෙතත් මා  දන්නා හැටියට නම් ලංකාවේ කිසිම පන්සලකට couples වලට පැමිණීමට බාධා නැත. එහෙත් නිදහස් චතුරශ්‍රය ඔවුන්ට තහනම් ය.

මගේද ඡන්දය හිමිවූ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේ නිදහස් චතුරශ්‍රයේදීය.ඔහුගෙන් අප බලාපොරොත්තුවූ වෙනස යම්තාක් දුරකට හෝ සිදුවී ඇත. එය අප අගය කළ යුතුය.අද අපි ප්‍රජාතන්ත්‍ර වාදය ගැන පෙර කවරදාකවත් නැතිතරම් කතාකරනේනෙමු. Couples වලට (පෙම්වතුන් සහ පෙම්වතුන් නොවන, සමලිංගික සහ සමලිංගික නොවන) නිදහස් චතුරශ්‍රයේ ගැවසීමට ප්‍රජාතාන්ත්‍රික අයිතියක් ඇත. එම අයිතිය තහවුරු කිරිම යහපාලනයේම කොටසක් විය යුතුය. Couples නිදහස් චතුරශ්‍ර මඩුවේ සිටියා කියා සිදුවෙන අවැඩක් නැත.ඔවුන් එහි කෝලං කරණු ඇතැයි සිතිය නොහැක. ඒ සඳහා ඒ අසලම වගේ ඇති  විහාර මහාදේවී පෙම් උයන හැන්දෑවේ හය දක්වා අවසර දෙයි.

ඔබ නිදහස් චතුරශ්‍රය couples වලට තහනම් කලාපයක් වීමට විරුද්ධ නම් කළ හැකි එක් දෙයක් ඇත. ඔබට කළ හැක්කේ නිදහස් චතුරශ්‍ර මණ්ඩපයට couple එකක් ලෙස ගොස්, “අපි couple එකක් නොවේ” යැයි දැන්විම් පුවරුවක් ඔසවාගෙන සිටීමය.මෙය අපව පාගා ගෙන සිටින හෙජමොනික ව්‍යූහයන් විගඩමක් කිරීමට භාවිත කළ හැකි හොඳ උපක්‍රමයකි.  

Read 4450 times Last modified on Thursday, 04 June 2015 12:08

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

1 Comment

  • Comment Link deeps Friday, 05 June 2015 17:17 posted by deeps

    Good to read this Danuka. Happened to me several years back too. Love the last part "ඔබට කළ හැක්කේ නිදහස් චතුරශ්‍ර මණ්ඩපයට couple එකක් ලෙස ගොස්, “අපි couple එකක් නොවේ” යැයි දැන්විම් පුවරුවක් ඔසවාගෙන සිටීමය" EPIC!!

    Report